හිම කදු අතර සැගව ගිය "ඉන්කා දරුවන්" ( "Hidden Incan Children in Andes Mountains" )
හිම කදු අතර සැගව ගිය "ඉන්කා දරුවන්"
( "Hidden Incan Children in Andes Mountains" )
1999 වසරේදී පුරාණ ඉන්කා ශිෂ්ඨාචාරයේ සාක්ෂි සොයමින් ගිය පුරා විද්‍යා ගවේෂණ කණ්ඩායමකට, එම වසරේ මාර්තු 16 වන දින, දකුණු ඇමෙරිකාවේ චිලී - ආර්ජන්ටිනා දේශ සීමාවේ පිහිටි ආදි ගිනි කන්දක මුදුනේ පොළොව යට තැන්පත් කර තිබූ පැරණි මළ සිරුරු තුනක් හමු විය. "Llullaillaco" ( 'ලලයිලැකෝ') ලෙස හැදින්වුණු එම ආදි ගිරි ශිඛරයේ, සිරුරු හමුවූ ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 6739 (අඩි 22,100)ක උසක පිහිටා තිබිණි (3 වන ඡායාරූපය ). බැලූ බැල්මට කුඩා දරුවන්ගේ යයි සැක කළ හැකි වූ එම සිරුරු සොයා ගන්නා විට මමීකරණයට ලක්ව තිබූ අතර, බාහිර වශයෙන් ඉතා හොදින් ආරක්ෂා වී පැවතියේය. එය කොතෙකුත්ද යත් ඒ මුහුණු වලින් ප්‍රකාශිත හැගීම් පවා හොදින් දැකගත හැකිවිය. නිද්‍රාශීලී ස්වරූපයක් දැරූ එම සිරුරු " ලලයිලැකෝ දරුවන්" ("Children of Llullaillaco") සහ " ලලයිලැකෝ මමියන් " ("Mummies of Llullaillaco") ලෙස ප්‍රසිද්ධ වන්නේ එතැන් සිටය.
ඔවුන්ගේ ඇදුම් පැළදුම් සහ තැන්පත් අනෙකුත් භාණ්ඩ වලට අනුව එම දේහයන් පුරාණ "ඉන්කා ගෝත්‍රිකයන්ට" අයත් සිරුරු ලෙස නිගමනය කිරීමට අපහසු වූයේ නැත. පොළොව මට්ටමින් මීටර් 1.5 ක්(අඩි 5)ක ගැඹුරේ කුටියක තැන්පත් කර තිබූ විශාල මැටි බරණි තුළ එම දේහයන් බහා මතුපිටින් පුරවන ලද පස් හා පාෂාණ තට්ටු වලින් වසා දමා තිබිණි. මෙම ස්ථානය හැදින්වෙනුයේ ලොව "වැඩිම උසක" පිහිටි පුරා විද්‍යා ස්ථානය ලෙසටයි. වසර 500 ක් තරම් පැරණියයි කාල නිර්ණය කළ එම සිරුරු හැදින්වෙන්නේ ලොව මෙතෙක් සොයා ගත් "සුරක්ෂිතම" (best preserved) ඉන්කා මමියන් ලෙසටයි. ලොව උසම ස්ථානයකින් සොයා ගත් මමීකරණයට ලක්වූ සිරුරු මේවා වන අතර, ලොව මෙතෙක් හමුවූ හොදින්ම මමීකරණය වූ දේහයන් ලැයිස්තුවටද මේවා අයත් වේ.
ඇන්ඩීස් කදු වළල්ලේ "Llullaillaco" ශිඛරය පිහිටා ඇති ප්‍රදේශය ආශ්‍රිතව ඇත්තේ සුප්‍රසිද්ධ "අටකාමා කාන්තාරයයි". එසේම එහි මුදුනේ උෂ්ණත්වය බොහෝවිට සෙල්සියස් සෘණ අගයන් ගන්නා අතර ඇතැම් විට එම අගය සෙල්සියස් අංශක සෘණ 40 දක්වාද පහත බසී. ප්‍රදේශයේ වායුගෝලයේ වියළි බවත්, අඩු උෂ්ණත්වයත් , ප්‍රදේශය හරහා හමා යන පැයට සැතපුම් 70කට අසන්න වේගවත් වියළි සුළං ධාරා නිසාත්, අඩු ඔක්සිජන් සාන්ද්‍රනය හා පීඩන වෙනස්කම් නිසා සිරුරු මෙසේ ආරක්ෂා වන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරයි.
දකුණු ඇමෙරිකාවේ වත්මන් ඉක්වදෝරය, පේරූ, බොලිවියාව, ආර්ජන්ටිනාව හා චිලී රාජ්‍යයන්ට අයත් භූමියේ ඇන්ඩීස් කදු ආශ්‍රිතව සමෘද්ධිමත්ව ව්‍යාප්ත වූ ඉන්කා රාජධානිය 13 වන සියවසේදී පමණ ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ (9 වන ඡායාරූපය - පාලකයන් අනුව ඉන්කා අධිරාජ්‍යයේ ව්‍යාප්තිය ). අධිරාජ්‍යයන් ගණනක් සහ ප්‍රාදේශීය රාජ්‍යයන් ගණනාවකින් සමන්විත වූ ඉන්කා රාජධානිය දකුණු ඇමෙරිකාවේ බිහිවූ විශාලතම ශිෂ්ඨාචාරය වශයෙන් ඉතිහාසයේ සදහන් වේ. ක්‍රි.ව 1438 පමණ බිහිවූ එය ක්‍රි.ව 1530 පමණ වන විට මිලියන 12ක් පමණ වූ එහි උපරිම ජන ඝණත්වයටත්, සශ්‍රීකත්වයටත් පැමිණි අතර ඉන් පසු ඉතා කෙටි කාල සීමාවක් තුළදී ( ක්‍රි.ව 1533 දී) හදිසියේ අභාවයට පත් වී ඇත. යුරෝපීයයන් විසින් හදුන්වාදුන් වසූරිය, සරම්ප වැනි රෝග නිසාත්, බලය උදෙසා පැවති අභ්‍යන්තර සිවිල් යුද්ධ නිසාත්, යුරෝපීය ආක්‍රමණ නිසාත් මෙම බිද වැටීම සිදු වූ බව සැළකේ.
"හිරු දෙවියන්" ඇදහූ ඉන්කා වරුන් ඔවුන්ටම අනන්‍ය වූ ඇදහිලි හා විශ්වාස රාශියක් අනුගමනය කළෝය.
ඉන්කා ඇදහිලි, චාරිත්‍ර සහ සිරුරු අධ්‍යයනයෙන් තහවුරු වූයේ එම දරුවන් "Capacocha" ('කැපකෝචා') නම් පුරාණ ඉන්කා චාරිත්‍රයට අනුව දෙවියන් සහ පුරාණ මුතුන් මිත්තන් වෙත භාර කර ලීමේ පූජාවට ලක් කරන ලද්දන් බවටයි. "Capacocha" ඉන්කාවරුන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් වූ බව ඔවුන්ගේ ඉතිහාසය හැදෑරීමේද පෙනී යන කරුණකි.
මෙම චාරිත්‍රයට අනුව ඉන්කා පූජකයන් විසින් අධිරාජ්‍ය පුරා විහිදී සිටින ඉන්කා දරුවන්ගෙන් යම් කොටසක් තෝරා ගැනීමකට ලක් කරනු ලබයි. ඔවුන් "වරම් ලත්" දෙවියන්ගේ දරුවන් ලෙසට සළකන ලද ඉන්කා වරුන්, එම දරුවන් වෙන් කොට, විශේෂ සත්කාර, වැදුම් පිදුම් සහ වරප්‍රසාද ලබා දෙනු ලබයි. අගනුවර වූ "Cusco" වෙත ගෙන ඒමෙන් පසු, විශේෂ පාරිශුද්ධ වීමේ චාරිත්‍ර වලට ලක් කරන එම දරුවන් සුදුසු කළ එළඹුනු විට "Capacocha" චාරිත්‍රය සදහා සූදානම් කෙරේ. "තෝරා ගැනීමට" ලක් වීම ඉමහත් ගෞරවයක් ලෙස ඉන්කා සමාජයේ සැළකිණ.
"Capacocha" චාරිත්‍රය කරනු ලබන්නේ තෝරා ගත් විශේෂ අවස්ථාවන් හීදීය. ඉන්කා අධිරාජ්‍යයකුගේ, ඉහළ පූජකයකුගේ අභාවය අනුස්මරණය කිරීම, රාජ්‍යයට උපද්‍රවයක් පැමිණි අවස්ථාවන් වලදී, වැසියන්ට ආශිර්වාද පතා මෙය සිදු කොට ඇත.
චාරිත්‍රයට ලක් කරන ලද දරුවන් ඊට පෙර "Coca" ශාකයේ පත්‍ර, ( "Erythroxylaceae" පවුලේ ශාක විශේෂ හතර පොදුවේ "Coca" ලෙස හැදින්වේ. 'කොකේන්' මත්ද්‍රව්‍ය නිපදවන්නේද මෙම වර්ගයේ ශාක ප්‍රභේදයකිනි) සහ බඩ ඉරිගු පැසීමෙන් දේශීයව නිපදවන ලද " Chica" නම්වූ මධ්‍යසාර ලබා දී නිද්‍රාවට පත් කරන ලද බව අනාවරණය කර ගෙන ඇත. ඉන්පසු ඔවුන් "ඇන්ඩීස් කදුකරයේ" තෝරා ගත් ස්ථානයක භූගතව සකස් කරන ලද කුටීරයක තැන්පත් කෙරේ.
මෙම චාරිත්‍රය නිසා හොද අස්වැන්නක්, යහපත් දේශගුණයක් ලැබෙන බවත්, සෞඛ්‍ය මට්ටම ඉහළ ගොස් රාජ්‍යයට සෞභාග්‍යය උදාවන බවත් ඉන්කා වරුන් විශ්වාස කළහ. එම දරුවන් මිය නොයන බවත්, ඔවුන් සුරගනන් වී ඉන්කා මුතුන් මිත්තන් සමග එක්ව, කදු මුදුන් වල සිට රාජ්‍යය දෙස බලා සිටිමින් ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන බවත් ඔවුන්ගේ විශ්වාසය විය.
සොයා ගන්නා ලද දේහයන් තුනෙන් දෙකක් ගැහැණු දරුවන් විය. අවු 13-15 පමණ වෙතැයි නිර්ණය කෙරුණු වැඩි මහල් ගැහැණු දරුවා " La doncella" ලෙස නම් කෙරිණි (4,5 ඡායාරූප). වයස අවු. 6 ක් පමණ වූ දෙවැන්නා "La nina del rayo" නම් විය(6 ඡායාරූපය ). වයස අවු. 7 ක් යයි සැළකුණු ඉතිරි පිරිමි දරුවා "El nino" ලෙස නම් කරන ලදී (7 වන ඡායාරූපය ).
සිරුරු වලට අමතරව භූ කුටීරයේ තිබී රිදියෙන් නිමවන ලද ඉන්කා ඇදහිලි නිරූපණය කරන පිළිම, සාම්ප්‍රදායික ඉන්කා රෙදි පිළි සහ මැටි බදුන් සොයා ගැනිණි. මේවා මුතුන් මිත්තන්ට පුද කරන ලද භාණ්ඩ ලෙස හැදින්විණි.
මමීකරණයට ලක්වූ මෙම සිරුරු පසුව, "X- ray", "CT Scan" පරීක්ෂණ සහ "DNA" හදුනාගැනීම් වලට ලක් කරන ලදී.
සිරුරු වල බාහිර සම සහ හෘදය, පෙණහළු ආදී අභ්‍යන්තර අවයව මැනවින් සුරක්ෂිතව තිබුණු බව සොයා ගන්නට හැකි විය. හෘදයේ සහ පෙණහළු තුළ කැටි ගැසුණු රුධිරය පවා සොයා ගන්නා ලදී.
චාරිත්‍රට ලක් කිරීමට ප්‍රථම ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ඔවුන්ට ලබා දී ඇති බව සොයා ගැනිණි. දේහ වල හිස කෙස් යොදා ගෙන කරන ලද රසායනික අධ්‍යයනයේදී එහි ඉහළ සාන්ද්‍රණයන්ගෙන් "Coca" සහ "Chica" රසායනික සංඝටක අඩංගු වන අනාවරණය වූ අතර, ඒවා ශරීර ගත වීම චාරිත්‍රයට ලක් කිරීමට පෙර මාස කිහිපයක සිට ක්‍රම ක්‍රමයෙන් වූවක් බවද හෙලි කෙරිණි. "DNA" අධ්‍යයනයෙන් තහවුරු වූයේ එම තිදෙනා අතර ලේ නෑදෑකමක් නොමැති බවටයි.
මෙම සිරුරු අතරින් වඩාත් අවධානයට ලක් වූයේ "La doncella" නම් වූ වැඩි මහල් ගැහැණු දරුවාගේ දේහයයි. " La doncella" යනු "අවිවාහක තරුණිය" (maiden) යන අර්ථයයි. මේ නිසා ඇය "Maiden of Llullaillaco " ලෙසද ප්‍රසිද්ධ විය. සාම්ප්‍රදායික ඉන්කා ඇදුමකින් සැරසී දරණ ගසා ගෙන සිටින "La doncella" ගේ කොණ්ඩය සියුම් ලෙස ගෙතීමකට ලක් කොට ඇත. හිස පැළැද තිබූ අලංකාර ශීර්ෂාභරණය නිසා මැය " සූර්ය කන්‍යාවියක්" හෙවත් "තෝරා ගත් ගැහැණු දරුවකු" ලෙස එකල සළකා ඇති බව හදුනාගන්නා ලදී. අනාගතයේදී රාජකීය පවුල් වලට සම්බන්ධ වීම සදහා, පූජකවර තනතුරට පත්කිරීමට හෝ " Capacocha" චාරිත්‍රය සදහා මෙසේ ගැහැණු දරුවන් කුඩා වියේදී තෝරා ගැනීමකට ලක් කර ඇත. උසස් ආහාර පානාදියේ සිට ඉතා සුවිශේෂී සැළකිලි වලට ලක් කළ ඔවුන් ඉන්කා වරුන්ගේ ඉමහත් ගෞරව බහුමානයට පාත්‍ර වී ඇත. "La doncella" ඉතිහාසයේ සොයාගත් සුරක්ෂිතම ඉන්කා මමිය ලෙස පුරා විද්‍යාඥයන් විසින් හදුන්වනු ලබයි.
මැයගේ පෙණහළු වල තිබූ බැක්ටීරියා ආසාධනයක් හදුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වූ අතර, උඩු ඇන්දේ දත් අතර සිරව තිබූ "Coca" ශාක පත්‍ර ගොණුවක්ද හමු වී ඇත.
"La nina" දැරිය මිය යාමෙන් පසු අකුණු පහරකට ලක්වී ඇත. මේ නිසා ඇයගේ මුහුණේ සහ උඩු බාහුවේ එක් පසෙකද, ඇදුම් වලද පිළිස්සීම් දක්නට ඇත. "Lightning Girl" ('අකුණු දැරිය') ලෙසද පසුව ඇය ප්‍රසිද්ධ විය. සාම්ප්‍රදායික "acsu" සැරසී ඇති ඇය, බ්ලැන්කට් ආවරණ දෙකකින් ඔතා තිබිණි. "CT ස්කෑන් ඡායාරූප වලට අනුව ඇයගේ හිස් කබල අසාමාන්‍ය ලෙස පටු හා දිගටි විය. එහෙත් ඊට සාපේක්ෂව හිසේ අභ්‍යන්තර අවයව වල ව්‍යුහාත්මක වෙනසක් නොවීය. නිගමනය කරන ලද්දේ කුඩා කල සිට හිස් කබල වටා ආවරණයක් යොදා තිබීම නිසා මෙම වෙනස්කමට හිස් කබල ලක් වී ඇති බවයි.
පටු හා දිගටි හිසක් පිහිටීම බාහිර ලෙස සුන්දරත්වයක් ගෙන දෙන බව ඉන්කා සමාජයේ පිළි ගැනීම විය.
"El nino" සිරුර පමණක් රෙදි පට මගින් තදින් බැද තිබිණි. වකුටු වී සිටින ඉරියව්වෙන් ("Foetal position") ඇති මෙම පිරිමි දරුවාගේ හිසද පටු හා දිගටි විය. "CT ඡායාරූප වලට අනුව ඔහුගේ මොළය ඉතා හොදින් ආරක්ෂා වී ඇති බව තහවුරු විය. දකුණු අතේ රිදී අත් පළදනාවකින්ද, සම් වලින් සැදූ පාවහන් වලින්ද ඔහු සැරසී සිටියේය. හිසේ උකුණන්ගේ ආසාධනයක් තිබී ඇත.
මෙම සිරුරු තුන අධ්‍යයනයේදී තහවුරු වී ඇත්තේ ඉන් ඉහළම සැළකුම් හා පෝෂණය ලබා ඇත්තේ "La Doncella" බවයි. අඩුම සැළකිලි ලබා ඇත්තේ "El nino" ය. කුඩා දරුවන් දෙදෙනා "La Doncella" ගේ 'මතු ලොවෙහි' සේවකයන් ලෙස තබන්නට ඇතැයි යනුවෙන් මතයක්ද විද්‍යාඥයන් අතර ඇත.
මේ වන විට මෙම සිරුරු ආර්ජන්ටිනාවේ "Salta" අගනුවර, ( ක්‍රි.ව 1400 - 1500 කාල වකවානුවේදී මෙම ප්‍රදේශයේද ඉන්කා රාජධානිය ව්‍යාප්තව තිබිණි) "High Altitude Archaeology" කෞතුකාගාරයේ පරිගණක තාක්ෂණයෙන් නියාමනය වන තත්ව සහිතව සකස් කරන ලද විශේෂිත කුටීර වල තැන්පත් කොට ඇත. "Llullaillaco" කදු මුදුනේ දේශගුණයට සමාන පරිසර තත්වයක් කෘතීමව මෙම කුටීර තුළ නිර්මාණය කොට ඇත.
එහෙත් ස්වදේශික ඉන්කාවරුන්ගෙන් පැවත එන ඉන්දියානු ප්‍රජාවගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී ඇත. එම සිරුරු ඒවා අයත් ස්ථාන වල පැවතිය යුතු බවටත්, තැන්පත් ස්ථාන වලින් බැහැරට ගෙන විත් ප්‍රදර්ශණය කිරීමත්, ඉන් මුදල් ලබා ගැනීමත් ඔවුන් දැඩි ලෙස හෙලා දකිති.
"Llullaillaco" කදු මුදුනට අමතරව "ඇන්ඩීස් කදුකරයේ" මෙවැනි සොහොන් බිම් 40 -50 අතර සංඛ්‍යාවක් පවතින බවට පුරා විද්‍යාඥයන් විශ්වාස කරයි. නමුත් ස්වදේශික ජනයා සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමේ අරමුණින් සහ සදාචාරාත්මක පියවරක් ලෙස තව දුරටත් එම සොහොන් බිම් ගවේෂණය අත් හිටුවා ඇත.
1999 ට පෙර අවස්ථා කිහිපයකදීද මෙවැනි මමීකරණයට ලක්වූ සිරුරු ඇන්ඩීස් කදුකරයෙන් සොයා ගෙන තිබිණි. එහි ප්‍රථම අවස්ථාව වූයේ 1954 වසරේ "චිලී" හි 'සන්තියාගෝ' නුවරට යාබද, මීටර් 5434 උසකින් පිහිටා තිබූ "Cerro El Plomo" නම් කදු මුදුනින් සොයා ගත්, "Mummy of Plomo" විය. අවුරුදු 8 ක් පමණ වයසැති පිරිමි දරුවකුට අයත් වූ මෙයද, ඉතිහාසයේ හමුවූ ආරක්ෂිතම ඉන්කා මමියන් අතරට ඇතුළත්ය. 'සන්තියාගෝ' නුවර ජාතික කෞතුකාගාරයේ මුලින් තැන්පත් කර තිබුනද, මෘත දේහ ප්‍රදර්ශණය නොකිරීම සදහා වූ "යුනෙස්කෝ" එකගතාවයකට අනුමැතිය පළ කිරීම නිසා ඒ වෙනුවට ආකෘතියක් පමණක් දැන් එහි ප්‍රදර්ශණය කෙරේ (8 වන ඡායාරූපය )
(තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)
Comments
Post a Comment